"අපගේ දැක්ම"

නවීන තාක්ෂණය හා තිරසාර සංවර්ධන ක්‍රමෝපායන්

සමෝධානය කරමින් 2025 දී

ජාතික වශයෙන් සඵලදායි වූ

විශිෂ්ඨතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත්වීම විම.

 

"අපගේ මෙහෙවර"

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා

ජනතා සහභාගීත්වයෙන්  යුත් කාර්යක්ෂම,තිරසාර හා සැලසුම්ගත

සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම

හැඳින්වීම

බුත්තල ඵෙතිහාසික පසුබිම

ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික ශ්‍රී විභූතිය මැනවින් පසක් කරන තවත් සුවිශේෂී පුරවර යක් ලෙස ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හඳුනා ගත හැකිය. ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික ආදී අනංගයන් ගෙන් සැලකිය යුතු දියුණුවක් මේ ප්‍රදේශයේ අතීතයේ තිබුණු බවට සනාථ කළ හැකි සාධක දැනුදු දක්නට ලැබේ. අභිමානවත් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මේ ප්‍රදේශය විශේෂයෙන් බෞද්ධාගමික පදනමක් මත ස්ථාපනය වී ඇති බවට සාක්ෂි බහුලව හඳුනා ගත හැකිය. (බුත්තල ආගමික සිද්ධස්ථාන පිළිබඳ විස්තර‍යේ මේ පිළිබඳ වැඩි විස්තර ඇත.)

ඵෙතිහාසික වංශ කතාවල සඳහන් වන අන්දමට බුත්තල ඉතිහාසය දුටුගැමුණු රජ දවසින් ද එපිටට දිව යන්නකි. එහෙත් මේ පිළිබඳ බහුලව සාකච්ඡාවට ලක් වන්නේ දුටුගැමුණු රජ දවසින් පසුවයි. ( ක්‍රි.පූ. දෙවන ශත වර්ෂය ) එකල රුහුණු රටට ( රෝහණ රාජ්‍යයට ) අයත් සුවිශේෂී භූමි භාගයක් ලෙස බුත්තල හදුන්වා තිබේ.  දුටුගැමුණු රජු සේනා සංවිධානය කොට උතුරට පිය නැගූ මාර්ගයේ වැදගත් නැවතුම් පොලක් වී ඇත්තේ බුත්තලයි. සේනාව සඳහා ආහාර දුන් පෙදෙස  බත්හල, බුත්හල, බුත්තල වූ බව ජනප්‍රවාදයයි. තවද යුදගනාව ආශ්‍රිතව නිරන්තර ගැටුම් ඇති වුන හෙයින් ගුෂ්ඨිහල   ගුත්හල    බුත්තල වූ බවද ප්‍රවාදයකි.  දුටුගැමුණු රජු තම සොයුරා වූ සද්ධාතිස්ස සමග යුද වැදීමෙන් සිදු වූ සිත් තැවුල මැකීමට හා එම සටන සදා සිහිවීමට එම යුද වැදුනු අංගනයේ ඉදිකෙරුණු සුවිසල් දාගැබ යුදගනා දාගැබ බව ඵෙතිහාසික සාධක මගින් සනාථ කරයි. මෙම දාගැබ වර්තමානයේ ද ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක ජනයාගේ ද අපිරිමිත ගෞරවාදරයට පාත්‍ර වේ. ලංකාවේ විශාලතම දාගැබ ලෙස ද සමහරු මෙම දාගැබ හඳුන්වයි. මීට අමතරව දුටුගැමුණූ රජ දවස හා යා වෙන සිදුවීම් හෙලි කරන ස්ථාන ලෙස සැලකෙන දෙමටමල් විහාරය, ඔක්කම්පිටිය, රහතන් කන්ද ආදී ස්ථාන ස්වර්ණ කාලීන වටිනාකමකින් යුක්තව අදත් ජනප්‍රසාදයට ලක් වේ

ඵෙතිහාසික වශයෙන් තවත් වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන මාලිගාවිල ප්‍රදේශය ද බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුවිශේෂි ස්ථානයක් උසුලයි. මාලිගාවිල පිහිටි රුහුණේ කීර්තිමත් අග්ගබෝධි රජු විසින් කරවන ලදැයි සැලකෙන අඩි 34 ක් උස ශෛලමය බුද්ධ ප්‍රතිමාව නටඹුන් අතර තිබී නැවත ඉදිවීම සුවහසක් ලාංකිකයන්ගේ ගෞරවාදරයට හේතු වී ඇත. ඊට නුදුරින් වූ දඹේගොඩ පිහිටි අවලෝකිතේශ්වර බෝධි සත්ව ප්‍රතිමාව ශෛලමය වූත්, ආධාරයකින් තොර පිහිටි ආසියාවේ එකම ප්‍රතිමාව බව ඵෙතිහාසික තොරතුරු මගින් ප්‍රකාශ කරයි. මෙම ප්‍රතිමාව 01 වන දප්පුල රජු විසින් කරන ලදැයි සැලකේ. මෙවන් සුවිශේෂි ස්ථාන බුත්තල ප්‍රදේශයේ වටිනාකම තීව්‍ර කරයි.

            බුත්තල කෘෂිකර්ම ඉතිහාසය ද දුටුගැමුණු යුගය දක්වා දිව යන බව හෙලි වේ. සද්ධාතිස්ස රජු විසින් ගොඩ නගන ලද වෙල්ලස්ස ආර්ථික පදනම දුටුගැමුණු රජුට රට එක්සේසත් කිරීමට මහෝපකාරී වූ බව ප්‍රකට කරුණකි. එකල මේ ප්‍රදේශයේ වෙල් ලක්ෂයක් වූ බවත්, එබැවින් ප්‍රදේශයට “ වෙල්ලස්ස” නම පට බැදුනු බවත් ජනප්‍රවාදයයි. දැනට වල් බිහි වී ඇති වෙල් යායවල් හා වාරි පද්ධතීන් දකින කවරෙකුට වුවද මෙම ප්‍රවාදයේ ශක්‍යතාවය වටහා ගැනීම අපහසු නොවේ. එවකට ඌව වෙල්ලස්සේ සරු සාරම ප්‍රදේශය බවට පත්ව ඇත්තේ බුත්තල ප්‍රදේශයයි. විශේෂයෙන් වී වගාව සම්බන්ධව බුත්තල ප්‍රදේශය සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන තිබේ. සුවිශාල භූමි භාගයක් පුරා වී වගාව ව්‍යාප්තව පැවති බවට ඵෙතිහාසික සාධක මගින් සනාථ කරයි.

            කෙසේ  වෙතත් විටින් විට පැමිණි පරසතුරු ආක්‍රමණ හා විශේෂයෙන් 1815 න් පසුව ලංකාව යටත් විජිතයක් බවට පත්වීමත් සමග එතෙක් මෙම ප්‍රදේශයේ පැවති ස්වාධීනත්වය, ශ්‍රී විභූතිය, සශ්‍රික ආර්ථිකය ආදී සියල්ල විනාශයට ලක් වූ බව ඉතිහාසය සදහන් කරයි.

 

බුත්තල පිළිබඳ සමකාලීන තොරතුරු බිඳක්

            අභිමානවත් ඉතිහාසයකට උරුමකම් පවසන බුත්තල ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයේ වර්තමාන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරී‍මේදී ප්‍රදේශයේ ආර්ථික, සමාජයීය, ‍සංස්කෘතිය ආදී අංශයන්ගෙන් සිදු වූ  හදුනා ගත හැකිය. දිගු කාලයක් තිස්සේ ජරාවාසව පැවති බුත්තල කොට්ඨාසයට අයත් ග්‍රාමීය ප්‍රදේශ 20 වන සියවසේ මුල් වකවානුවේ සිට ( 1990 මුල් වකවානුව ) නැවත ජනාවාස බවට පත් වෙමින් පවතී. පැරණි කෘෂිකාර්මික ආර්ථික සංවර්ධනය නැවත අත්පත් කර ගැනීමේ අරමුණින් මෙතෙක් පැවැති රජය විසින් ඒ සඳහා ආධාර උපකාර කර ඇත. විශේෂයෙන් නටබුන්ව පැවැති වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීම හා ඉඩම් නීත්‍යානුකූල කර දීමේ කටයුතු මේ යටතේ රජය විසින් සිදු කර ඇත. එහෙත් සමහර ග්‍රාමීය ප්‍රදේශ වල තවමත් මෙම ගැටලු විසදී නොමැති තත්ත්වයක් දක්නට ලැබේ. ඒ අතර වී වගාව සම්බන්ධයෙන් අතීතයේ සිට තබා ඇති ස්ථාවරය පවත්වා ගෙන යෑමට වර්තමානයේ ගොවීන් ද උත්සුක වන අන්දම දක්නට ලැබේ. විශේෂයෙන් ඔක්කම්පිටිය ආදී ප්‍රදේශ වල වී වගාව බහුලව සිදු කරයි.

              බුත්තල ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසය මෑත ඉතිහාසයේ වඩාත් ජනප්‍රිය භාවයට පත් වීමට හේතුවක් වූයේ ශ්‍රී ලංකාවේ විශාලම සීනි කර්මාන්ත ශාලාව පැල්වත්ත ප්‍රදේශයේ ඉදි වීමයි. ජාතික ආර්ථිකයට මෙම කර්මාන්ත ශාලාව මගින් ලැබෙන්නේ මනා පිටිවහලකි. මේ ආශ්‍රිතව විශාල පිරිසකට රැකී රක්ෂා ලබා ගැනීමේ අවකාශය සැලසුනු අතර, උක් වගාව සඳහා දිස්ත්‍රික්කයේම ගොවීන් නැඹුරු වීම ඔවුන්ගේ සංවර්ධනයට හේතු වී තිබේ.

            කොට්ඨාසයේ තවත් ආර්ථික වැදගත් සම්පතක් ලෙස ස්වභාවිකව පිහිටා ඇති ඛණිජ සම්පතක් වන මැණික් හඳුන්වා දිය හැකිය. විශේෂයෙන් ඔක්කම්පිටිය ආශ්‍රිත ප්‍රදේශ වල මැණික් සම්පත පිහිටා තිබීම කොට්ඨාසයේ වටිනාකම තවත් වැඩි කරයි. කෙ‍සේ  වෙතත් වර්තමානය වන විට මෙම වටිනා සම්පත ප්‍රදේශයෙන් ක්ෂය වන බව හඳුනාගෙන තිබේ.

            බුත්තල කොට්ඨාසය පුරා‍ පෞරාණික වටිනාකමකින් යුත් ස්ථාන රාශියක් පිහිටා තිබීම නිසා සංචාරක කර්මාන්තයට විශාල ඉඩක් විවර වී පවතී. දිනපතා දෙස් විදෙස් සංචාරකයින් මේ ප්‍රදේශයේ සංචාරය කරයි. නමුත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නො වීම ප්‍රබල ගැටලුවකි. ප්‍රදේශයේ ආර්ථික වෘද්ධිය ඉහල නංවනු වස් දියුණු කළ යුතු අංශයන් ලෙස සංචාරක කර්මාන්තය හඳුනා ගත යුතු වන අතර ඒ සඳහා ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු ය.

            මේ හැරුණු විට ගත වූ දශක කිහිපය බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ සංවර්ධන වැඩසටහන් ප්‍රදේශයේ ප්‍රගමනයට විශාල ලෙස බලපා ඇත. විශේෂයෙන් ගම්උදා 1992, දැයට කිරුළ 2011, ගම නැගුම, මග නැගුම, ආදි මෑතකාලීන සංවර්ධන වැඩසටහන් තුළින් විදුලිය, ජලය, මාර්ග ආදී යටිතල පහසුකම් සංවර්ධනය වීම, බුත්තල අනුබද්ධ විශ්ව විද්‍යාලය, ඇගළුම් කම්හල , ප්‍රධාන රාජ්‍ය ආයතන, පොදු පහසුකම්, පාසල් හා වෙනත් අධ්‍යාපනික ආයතන ආදිය සංවර්ධනය වීම නිසා බුත්තල ප්‍රදේශය වඩාත් කැපී පෙනෙන ස්ථානයක් බවට පත් වී ඇත. එමෙන්ම ප්‍රධාන නගර කිහිපයකට විහිද යන ප්‍රධාන මාර්ග වල ප්‍රවේශයන් බුත්තල නගරයෙන් ඇරඹීම ද කොට්ඨාසයේ දියුණුවට හේතු වී ඇත.

            සංස්කෘතිය වශයෙන් බුත්තල විචිත්‍රවත් කරන යුදගනා රජමහා විහාරය මගින් සංවිධානය කරනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය කතරගම හැරුණු විට දිස්ත්‍රික්කයේ පවත්වන උත්කර්ෂවත් සංස්කෘතික උත්සවය වේ.

            උක්ත කාරණා සලකා බැලූ විට බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආර්ථිකමය වශයෙන් කාර්මික, කෘෂිකාර්මික, අංශවල සැලකිය යුතු  සංවර්ධනයක් ද විශාල සාමාජිය සංස්කෘතික දියුණුවක් ද දක්නට ලැබෙන ප්‍රදේශයක් ලෙස හඳුනා ගත හැකි ය. එමෙන්ම ආර්ථිකමය වශයෙන් තව දුරටත් සංවර්ධනය කළ හැකි විභවයන්  රාශියක් දක්නට ලැබෙන ප්‍ර‍දේශයක් ලෙස ද බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හඳුනා ගත හැක

 

බුත්තල කොට්ඨාසයේ සේවය කළ ප්‍රාදේශිය ලේකම්වරුන්

නම

සිට

දක්වා

ඒ.ජේ.හේරත් මයා

1956

1958

එස්.බී.සමරකෝන් මයා

1959

1960

එල්.බී.වේරපිටිය

1960

1962

ඩබ්.එම්.පී.බී.මැණික්දිවෙල මයා

1962

1964

ඒ.බී.තලගු‍ණේ මයා

1964

1969

ටී.පී.වි.වික්‍රමසිංහ මයා

1970

1971

ආර්.බී.රත්නායක මයා

1972

1973

පී.ඒ.අමරසිංහ මයා

1973

1976

ඥානවිපුල මුණසිංහ මයා

1977

1977

එච්.කේ.එම්.අබේකෝන් මයා

1977

1980

සිරිසේන ලියනගම මයා

1980

1990

යූ.කේ.එස්.මිහිඳුකුලසූරිය මයා

1990

1992

ජී.ඒ.එස්.සිල්වා මයා

1992

1993

ඩී.පී.එල්.පී.පෙරේරා මයා

1994

1997

ඩී.එම්.ඉන්ද්‍රා දිසානායක මෙනෙවිය

1997

2000

ඩී.එම්.කරුණාරත්න මයා

2000

2007

අනිල් විජේසිරි මයා

2007

2009

ජී.යූ.කේ.අල්ගෙවත්ත මයා

2009

2015

ඩී.එම්.සුමතිපාල මයා

2016

2018

ආර්.එම්.ආර්.එස්.තිලකරත්න මයා 2019  

News & Events

Scroll To Top